ලක්දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙයින් පුරා සියවස් විසිපහක් පමණ (එනම් වසර 2500 ක් පමණ) වූ එම කාල පරිච්ඡේදය තුළ ලොව විවිධ ජාතීන් විසින් විවිධ භාෂාවලින් ලක්දිව හැඳින්වූ විවිධ නාම බොහොමයකි. ඒවා අතුරෙන් වර්තමානයේ දී විද්‍යාමාන වන විවිධ නාම (සිංහල අකාරාදියට අනුව) විමර්ශනය කිරිම මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.
භූගෝලීය සාධක
ලක්දිව ප්‍රධාන දූපතකින් හා ඒ අසල පිහිටි කුඩා දූපත් කීපයකින් යුක්ත ය. එය දකුණු ආසියාවේ පිහිටි විශාලතම දූපත ද වන්නේ ය. උතුරු අක්ෂාංශ 5.55’ - 9.51’ යන නැඟෙනහිර දේශාංශ 79.42 - 81.52 අතර ඉන්දියානු අර්ධද්වීපයට දකුණින් එයින් වෙන්ව ඉන්දියානු සාගරයෙහි කේන්ද්‍රස්ථානයෙහි පිහිටා ඇත. ලක්දිව ඉන්දියාවෙන් වෙන්වී ඇත්තේ කි.මී. 32 ක් පමණ වූ පටු මුහුදු තීරයකිනි.
ලක්දිව ප්‍රාග් ඉතිහාසය වර්ග කිරීමට අනුව
. ප්‍රාග් ඓතිහාසික යුගය - (Pre History)
. මුල ඓතිහාසික යුගය - (Proto History)
. මුල ඓතිහාසික යුගය - (Proto History)
. මුල් ඓතිහාසික යුගය - (Early History)
. මධ්‍යම ඓතිහාසික යුගය - (Middle History)
. අපර ඓතිහාසික යුගය - (Post History)
ලක්දිව ප්‍රාග් ඓතිහාසික ජනාවාස බිහිවීම
ලක්දිව ප්‍රාග් ඓතිහාසික ජනාවාස බිහිවිම පිළිබඳව ඉපැරණිතම සාධක හමුවන්නේ උතුරු දිසාවෙන් පිහිටි ඉරණමඩු පස් සැකැස්මේ බොරළු ටෙරසය තුළිනි. මෙහිදී වඩාත් නිශ්චිත ලෙස වාර්තාවූ සාධකවලට අනුව ගල් ආයුධ (මෙවලම) අදින් වසර 1, 25,000 ක් පමණ ඈත අතීතය කරා දිවයන බව පෙන්වා දී ඇත.
එනමුත් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් බුන්දල මුතුරාජවෙල හා වැල්ලේගන්ගොඩ යනාදී ස්ථාන ඇසුරු කරගනිමින් කරන ලද විද්‍යානුකූල පුරාවිද්‍යා කැනීම් මගින් සොයාගනු ලැබූ මානව කෘතික සාධකවලට අනුව යට කී ස්ථානවල ආදි මානවයා ජීවත් වූ කාලය අදින් වසර 2,50, 000 ක් දක්වා ඈත අතීතයක් කරා දිවයන බවට විශ්වාස කෙරේ. පුරා ශිලා යුගය නොඑසේ නම් පැලියෝලිතික යුගය (Paliolitic Era) නියෝජනය කරන්නා වූ වසර 2,50,000 ක් පමණ ඉපැරණි ගල් ආයුධ (මෙවලම්) භාවිතා කළ මානවයා බොහෝ විට හෝමෝහැබිලිස් (Homo Habelis) මානවයා විය හැකි බවට අනුමාන කෙරේ.
එසේම බුන්දල මිහිහාගලකන්ද හා උස්සන්ගොඩ යනාදී ස්ථානවලින් වාර්තා වී ඇති අදින් වසර 1,25,000 ත් 75000 අතර කාල වකවානුවට අයත් වන ගල් ආයුධ (මෙවලම්) භාවිතා කළ මානවයා බොහෝ විට හෝමොඉරෙක්ටස්(Homo Erectus) මානවයා විය හැකි බවට අනුමාන කෙරේ. මෙකී පුරාවිද්‍යාත්මක සාධක මඟින් තහවුරු වන්නේ ලක්දිව මුල් ම ජනාවාස කරණයේ ආරම්භය ඉතා ඈත අතීතයක් කරා දිව යන බවයි.
මධ්‍යතනය ශිලා යුගය නොඑසේ නම් මෙසොලිතික යුගයේ (Mesolitic Era) දී මානව ජනාවාස ගතතොරතුරු මෙරට බොහෝ ස්ථානවලින් හමුවී ඇත. ඉන් අදින් වසර 34000 ක් පමණ ඈත අතීතයක් කරා දිවයන මානව අවශේෂ බුලත්සිංහල පාහියන් ලෙනින් හමුවී ලක්දිව සාධක සහිත තහවුරු වී ඇති ඉපැරණිතම ජනාවාස සාධකය වේ.
මෙයට අමතරව කුරුවිට අසල බටදොඹ ලෙන (එනම් වසර 28500 ක් පමණ), අම්බලන්ගොඩ බෙල්ලන්බැදිපැලැස්ස ලෙන (එනම් වසර 14,000 ක් පමණ) කිතුල්ගල බෙලිලෙන (වසර 13000 ක් පමණ) කෑගල්ල අත්තනගොඩ අලු ලෙන (එනම් වසර 10500 පමණ) යනාදී ලෙන් තුළින් ලංකාවේ ආදිතම ජනාවාස පිළිබඳව ද්‍රව්‍යාත්මක සාධක හමුවී ඇත.
ලක්දිව ආර්ය ජනාවාස බිහිවීම
ක්‍රි.පූ. 6 වෙනි සියවසේ දී පමණ උතුරු ඉන්දියාවේ සිට ලක්දිවට සංක්‍රමණය වූ ආර්යයන් මෙරට තුළ ජනාවාස පිහිටුවා ගැනීම ලක්දිව ඉතිහාසයේ ආරම්භය ලෙස සාමාන්‍යයෙන් සලකුණු ලැබේ. මේ ආර්ය ජනාවාසවල ආරම්භය නිශ්චිත වශයෙන් කාල නිර්ණය කිරීමට උගහට ය. යටකී අන්දමින් ක්‍රි.පූ. 6 වෙනි සියවසට පෙර ආර්යයන් මෙරටට සංක්‍රමණය වන්නට ඇතැයි කියා අනුමාන කළ හැකි වන අතර එතැන් පටන් සියවස් ගණනාවක් යනතුරු ම සිදුවූ සංක්‍රමණයන් හේතු කොටගෙන යටකී ජනාවාස ක්‍රමික ව මෙරට තුළ ව්‍යාප්ත විය.
ලක්දිව ආර්යය ජනාවාස පිහිටුවීම හා එහි ව්‍යාප්තිය පිළිබඳ ව විමර්ශනය කරනු වස් මහාවංශයේ එන තොරතුරුත් ඉපැරණි බ්‍රහ්මි සෙල්ලිපිත් (එනම් යාල අභය භූමිය, සිතුල්පව්ව, බෝවත්තේගල යනාදී ස්ථානවලින් හමුවී ඇති බ්‍රහ්මි සෙල්ලිපි වලින්) මහත්සේ මහෝපකාරී වේ.
ඒ අනුව ගංගා මිටියාවත්වලට ආසන්නව ජනාවාස පිහිටුවා ගන්නට ඔවුන් පෙලඹුණු බව පැහැදිලි වන ලක්ෂණයකි. එකී ගංගා අතර මල්වතු ඔයට (මහා වංශයට අනුව කාදම්භ නදී) ප්‍රධාන තැනක් හිමි විය. එනම් මල්වතු ඔය මුවදොරට ආසන්නව පිහිටි මහාථිත්ත හෙවත් මාන්තායි නම් වූ පැරණි වරායෙන් මෙරටට ගොඩබට ආර්යයෝ මල්වතු ඔය මිටියාවත ඔස්සේ රජරට උතුරු දිසාවට පැමිණියහ.
ඉක්බිතිව ඔවුන් විසින් මල්වතු ඔය අසබඩ ඉදිකරගන්නා ලද ප්‍රධාන ජනපද දෙකකි අනුරාධගාම හා උපතිස්සගාම. මෙයට අමතරව ඔවුහු ගිනිකොණ දිසාවෙන් වූ කුඹුක්කන් ඔය, කිරිදිඔය හා මැණික් ගඟ ඇසුරු කර ගනිමින් තව තවත් ජනපද පිහිටුවා ගනිමින් තම ජන ව්‍යාප්තිය වර්ධනය කරගන්නට උත්සුක වූහ.
ලක්දිව හැඳින්වූ විවිධ නාම මෙසේ ය.
1. ආමු ද්වීප
2. ඉන්දියන් සාගරයේ මුතු ඇටය
3. ඉළංගෙයි
4. ඉළංදු
5. ඉළනාර
6. ඊළ
7. ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්දිව හැඳින්වූ නාමයයි)
8. ඕජදීප
9. කසිගෝ
10. කේට් ලංකා
11. කෙයිලෝන්
12. චල (අරාබි භාෂාවෙන්)
13. චිංකලෙයි (දමිළ භාෂාවෙන්)
14. තනසරිම්
15. තපරවාන්
16. තබර්ඛාන්
17. තම්බපණ්ණී
18. තම්බපණ්ණී ද්වීප
19. තම්තබීන්
20. තඹපැන් ද්වීප
21. තැප්‍රොබේන් (ග්‍රීක - රෝම යන භාෂාවලින්)
22. තාර්සිස්
23. තාමුදීප්
24. තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිතා විය)
25. ත්‍රී සිංහලය (ඉහත බෙදීම හා බැදේ)
26. තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්)
27. දසඛණ්ඩි රාජ්‍ය
28. දිල්මුන්
29. දශෂිර : පුර
30. පරවාන් ද්වීප
31. පලාංකොට්
32. පළේසිමන්දු
34. ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්)
35. ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්)
36. මණ්ඩ ද්වීප
37. මණ්ඩු ද්වීප
38. රත්න ද්වීප (ලක්දිව මැණික් ලොව ප්‍රකට බැවින්)
39. රත්නදීප
40. රාවණපුර
41. රාවණ ද්වීප
42. රාක්ෂ ද්වීප
43. රාක්ෂ පුර
44. රකියුප්
45. රුවන්දීප
46. ලංකා (හෙළ භාෂාවෙන්)
47. ලංකා ද්වීප
48. ළක
49. ලක්දිව
50. වරදීප
51. පිති ක්වෝ (චීන භාෂාවෙන්)
52. ශ්‍රී ලංකා (වර්ෂ 1972 ජනරජ
ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව)
53. සග සස්දිව්
54. සයිලන්තු (මලයාලම් භාෂාවෙන්)
55. සලිස්
56. සළිකේ
57. සාලයික්
58. සින්දු
59. සිමන්ඩා
60. සීමන්ඩාදු
61. සිරිලක (හෙළ භාෂාවෙන්)
62. සිසිල
63. සිහලද්වීප
64. සිලිදිව්
65. සිලොන් (ඉංග්‍රීසි භාෂාවෙන්
66. සිංගල් දිව්
67. සිංගලම් (දමිළ භාෂාවෙන්)
68. සිංහලය
69. සිංහල ද්වීප
70. සිලන්
71. සිහලදිව්
72. සිහලාන් ද්වීප
73. සිහොලේ (පාලි භාෂාවෙන්)
74. සිගෝ (බුරුම භාෂාවෙන්)
75. සිලාන් (අරාබි භාෂාවෙන්)
76. සුපර් චාන් (තායි භාෂාවෙන්)
77. සෙයිලාන්
(පෘතුගිසි භාෂාවෙන්)
78. සෙයිලාන් දිවන්
79. සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්)
80. සෙන්කියා (චීන භාෂාවෙන්)
81. හෙලන්දු
82. හෙල ද්වීප
83. හෙල දෙරණ
84. හෙළය
85. හේලිකේ
86. පෙලෙයිසිමන්ඩා
87. පරවාන් ද්වීප
88. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය