Showing posts with label දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය. Show all posts
Showing posts with label දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය. Show all posts

Wednesday, June 17, 2015

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය - 11 - කොටස - නිර්මාල් රංජිත්ට පිළිතුරු

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ආචාර්ය නිර්මාල් විසින් කමෙන්ටු මත පදනම් කරගෙන ලිපි ලිවීම අනුමත කළ නොහැකි බවයි. මා මේ කමෙන්ටුව දැමූ අවස්ථාවේම මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අවස්ථාව තිබිණි. අනෙක් අතට කමෙනටුවක අර්ථය වටහාගැනීමට ඊට පෙර සහ පසු කමෙන්ටු මෙන්ම එය පදනම් වූ ලිපියද කියවිය යුතුය. එය වෙහෙසකර මෙන්ම කාලය මිඩංගු වන ක්‍රියාවකි. එහෙත් ආචාර්ය නිර්මාල්ගේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ඒ ගැන කරදර වේයැයි සිතිය නොහැකිය. මෙයින් සිදු වන්නේ කමෙන්ටුවක දැක්වෙන අදහසක් උපුටාගෙන එයින් තමාට අවශ්‍ය පරිදි විවිධ අර්ථ ජනිත කිරීමට අවස්ථාවක් ලැබීමයි. එය අනුමත කළ නොහැකිය. මේ කාරණාවට ආචාර්ය නිර්මාල් රංජිත් වරක් එකග වූ අතර එහෙත් නැවතත් ඔහු එයම සිදු කර ඇත. එය ඔහුගේ ආචාර ධර්මවලට එකගදැයි නොදනිමි. ඔහුට අනුව ආචාරධර්ම වාස්තවික බැවින් ප්‍රශ්න කිරීමකින් තොරවම ඊට අනුගත වීමට මට සිදුව ඇත්තේය. 


අප කියන්නේ විවිධ ජනවර්ග සහ ආගම් අදහන අය අනුකලනයෙන් ශ්‍රීලාංකීය හෝ එවැනි ජාතියක් (ඒ නම එතරම් වැදගත් නොවේ) නිර්මාණය කරගත යුතුබවය. එය සිදු විය යුත්තේ ඒ ඒ ජනවර්ග සහ ආගම් අදහන අයගේ අනන්‍යතාව රැකෙන පරිදිය. සිංහල බෞද්ධ සංස්කෘතිය එහිදී විශේෂිත සංස්කෘතිය ලෙස සැලකිය යුතු බව අපි කියමු. ඕනෑම රාජ්‍යයක විශේෂිත වූ සංස්කෘතියක් ඇති අතර දෙමළ ජාතික රාජ්‍යයක් බිහිවුවද එහිද විශේෂිත සංස්කෘතියක් පවතිනු ඇත. වාර්ගික වශයෙන් හෝ ආගමික වශයෙන් බෙදීමකින් තොරව පොදු ජාතිකත්වයක් ගොඩනැගීමට ඇති ක්‍රමය මෙය වෙයි. මෙය කිසිසේත්ම ඊනියා දෙමළ නිජබිම වැනි වර්ගවාදී මතවාදයක් නොවන බව කිව යුතුය. ලංකාවේ ජීවත් විය යුත්තේ සිංහල ජනයා පමණක්ය හෝ සිංහල නොවන ජනයාට යම් කිසි භූමියක ජීවත් විය නොහැකිය කියා මින් නොකියවෙයි. ඕනෑම ජනවර්ගයක ඕනෑම ආගමක කෙනෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට මේ යටතේ අවස්ථාව සැලසෙයි. වාර්ගික පදනමෙන් තොරව සියල්ලන්ටම සමානාත්මතාවයෙන් සැලකීමද එවැනි රාජ්‍යයකින් සිදු විය යුතුය. එහෙත් සංස්කෘති සමාන කිරීම කළ නොහැක්කකි. ඕනෑම රාජ්‍යයක විශේෂිත සංස්කෘතියක් ඇති අතර මෙහිදී එය සිංහල බෞද්ධ සංස්කෘතිය වනු ඇත. ඇත්ත වශයෙන්ම වෙන් කිරීමෙන් නොව අනුකලනයෙන් ජාතිය ගොඩනැගීමම සිංහල බෞද්ධ සංස්කෘතියේ එන අදහසක් වෙයි. ඒ නිසා මේ ක්‍රමයට ජාතිය ගොඩනැංවීමේදී සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය වන්නේ බලහත්කාරයෙන් නොව නිරායාසයෙන්මය. අනෙක් අතට ඊනියා දෙමළ නිජබිමෙන් යෝජනා කෙරෙන එක් ජනවර්ගයකට විශේෂිත වූ භූමිභාගයක් වෙන් කිරීම හෝ වෙනත් ජනවර්ගවලට ඒ ප්‍රදේශයේ පදිංචි වීම සීමා කිරීම වර්ගවාදයකට සහ ජාතිවාදයකට මගපාදන්නකි. එහිදී නම් ගොඩනගන දෙමළ ජාතික අනන්‍යතාව සෙසු ජනකොටස් බැහැර කරන අනන්‍යතාවයක් බව කිව යුතුයි. මෙහි කිසිදු දෙබඩි පිළිවෙතක් නැති අතර අපි යෝජනා කරන පිළිවෙත මෙයයි. වාර්ගික පදනමින්  ‘පොඩ්ඩක්‘ බලය බෙදා ‘ෂේප්‘ විය හැකියැයි අපි නොසිතමු. එයින් සිදු වන්නේ වාර්ගිකව බෙදීම තවත් උච්ඡ වීමය. ඇත්ත වශයෙන්ම එය නම් දෙබිඩි පිළිවතකි. මන්ද ශ්‍රී ලංකීය ජාතියක් ගොඩනැගීම ගැන කතාකරමින් ඊට පටහැනිව යන වාර්ගිකව බෙදීමකට එයින් මග පෑදෙන බැවිනි. 


කෙසේ වෙතත් ඒ මහතා දක්වා ඇති කමෙන්ටුවට පසුව මම තවත් විස්තරාත්මකව මේ ගැන පැහැදිලි කළ බවක් මගේ මතකයේ ඇත. මා ඇසූ ප්‍රශ්නය සැකැවින් මෙයයි. 


“දෙමළ ජනතාව සිය රාජ්‍යය ලෙස පනවාගන්නා භූමිය සිංහල ජනතාවගේ දැනට පවතින රාජ්‍යයේ කොටසක් නම්, දෙමළ ජනතාවගේ රාජ්‍යයේ අභිලාශය සාක්ෂාත් කිරීමට සිංහල ජනතාවගේ රාජ්‍ය පිළිබද සාක්ෂාත් වූ අභිලාශය නොසලකා හැරිය යුත්තේ මන්ද?“ යන්න එම ප්‍රශ්නයයි. මා ඒ අවස්ථාවේ භාවිත කළ වචන හරියටම මතක නැති මුත් මා මතු කරන්නට උත්සාහ කළ ප්‍රශ්නය මීට සමාන යැයි සිතමි. මේ අදහස තුළ නිර්මාල් රංජිත් මහතා සදහන් කරන ‘සුජාත භූමිය‘ වැන කතාවක් නැත. හුදෙක් අභිලාශවල සමමිතිකත්වය පිළිබද ප්‍රශ්නයකි මෙය. දෙමළ ජනතාවගේ අභිලාශවලට අසමමිතික වැදගත්කමක් දිය යුත්තේ ඇයිද යන්න ඒ ප්‍රශ්නයම වෙනස් ආකාරයකින් ඇසීමකි. 


නිර්මාල් මහතා මීට දෙන පිළිතුර සිංහල අභිලාශය පරිකල්පනීය වන අතර දෙමළ අභිලාශය සංකේතීය වන බවය (මෙහිදී ඒ මහතා මනෝවිශ්ලේෂණයේ ඇති සංකල්පයක් යොදා ගනී. පොපර්ගේ අසත්‍යකරණ න්‍යාය පිළිගන්නා ඒ මහතා පොපර් විසින් මිත්‍යා ලෙස සැලකූ මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය අදහන්නේ මන්ද?) . මේ සංකේතීය යන වදනින් යථාර්තවාදී බවක් හැගවෙන බවද කියා ඇත. සංකේතීය කතාව ඉවත් කළොත් සිංහල අභිලාශයට වඩා දෙමළ අභිලාශය යථාර්තවාදී යැයි අපට කිව හැකිය. එහෙත් සිංහල අභිලාශවලට වඩා දෙමළ අභිලාශ යථාර්තවාදී වන්නේ කෙසේදැයි ඒ මහතා පැහැදිලි නොකරයි. ඒ මහතාට අනුව සිංහලයන්ගේ රාජ්‍ය පිළිබද දැක්ම ඓතිහාසික ෆැන්ටසියකි. ඒ මහතා දෙමළ ජනතාවගේ ඓතිහාසික දැක්ම mythical construction එකක්යැයි වරක් කීවා මට මතකය. ඒ නිසා ඒ දෙකේ වැඩි වෙනසක් තිබිය නොහැකිය (කෙසේ වෙතත් ඒ මහතා ‘සම්ප්‍රදායික‘, ‘ඓතිහාසික‘, ‘නිජභූමිය‘, ‘අනාදිමත් කාලයක සිට වෙසෙන‘ වැනි යෙදුම් දෙමළ ජනතාවගේ රාජ්‍ය අභිලාශය සම්බන්ධයෙන් වරින් වර එහෙන් මෙහෙන් හොරෙන් හොරෙන් භාවිත කරයි. ඓතිහාසික පදනමකින් තොරව එවැනි වචන යොදාගත හැකිද යන්න මට ප්‍රශ්නාර්ථයකි. කොටින්ම ‘නිජබිම‘ යන වචනයෙන් සෘජුවම හැගවෙන්නේ ඓහිහාසික පදනමකි).

කදුරුගොඩ පිළිබදව හෝ ලන්දේසි සිතියම් ගැන නිර්මාල් මහතා දරන මතය අයත් වන්නේ මේ මිත්‍යා දෙකෙන් කොයිකටද? සමහර විට මේ දෙකෙන්ම බැහැර නිරපේක්ෂ ඉතිහාසය කතාවක් ගොඩනැගීම ඒ මහතාගේ අපේක්ෂාව විය හැකිය. එවැනි නිරපේක්ෂ ඉතිහාස කතාවක් ආචාර්ය නිර්මාල් රංජිත්ගෙන් ඇසීමට අපි පුල පුලා බලා සිටිමු. විශේෂයෙන්ම ආචාර්ය නිර්මාල් රංජිත් දෙමළ ප්‍රශ්නය ගැන දරන අපක්ෂපාතී මැදහත් ස්ථාවරය මත ඔහු විසින් ගොඩනගන ඉතිහාස කතාවද එවැනිම මැදහත් අපක්ෂපාතී නිරපේක්ෂ එකක් වනු ඇති බවට අපට ඉදුරාම විශ්වාසය. ආචාර්ධර්මද නිරපේක්ෂ වන කල ඉතිහාසය නිරපේක්ෂ කිරීම කජ්ජක්ද? ඊනියා දෙමළ නිජබිමට දේශපාලන බලය ලැබීම, මාක්ස්වාදීන් විසින් සිය අරමුණ වන සමාජවාදී සමාජය බිහිකර ගැනීමට පූර්ව අවශ්‍යතාවයක් ලෙස විවෘතව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන පසුබිමක් තුළ, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් නිර්මාණය කෙරෙන ඉතිහාසයකින් සේවය කෙරෙන්නේ කාටදැයි නිගමනය කිරීමට පේන බැලීමට අවශ්‍ය නොවේ. 


කෙසේ වෙතත් සිංහල අභිලාශ වලට වඩා දෙමළ අභිලාශ යථාර්තවාදී වීම මත ඒ මහතා ඉදිරිපත් කරන තර්කය රදා පවතී. අපි යථාර්තවාදී යැයි කියනවාට වඩා සංගතය කියන යෙදුම ප්‍රිය කරමු. අපේ සංගත බවට ඓතිහාසික සාධක වැදගත් වෙයි. ඒ මහතාද වරක් පිළිගත් පරිදි අපේ ඓතිහාසික කතාව වඩා සංගතය (උපුටනය ලිපිය අවසානයේ දක්වා ඇත). එසේ සංගත වන්නේ ඒ මහතා ප්‍රතික්ෂේප කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ අනිකුත් සාධකද සමග බව සැලකිය යුතුය (සංකේතීයභාවයට බලපාන සාධක නිර්ණය කරන්නේ කවුද යන්නද ප්‍රශ්නයකි. එක් එක් පාර්ශව සංකේතීයත්වය නිර්ණය කරන ආකාරය වෙනස් විය හැකිද?). ඒ නිසා අපට අනුව සිංහල අභිලාශය, එනම් ඒකීය රාජ්‍යයක් තුළ විවිධ ජනවර්ග සහ ආගම් අදහන අය එක ජාතිකත්වයකට ගොනු කිරීම දෙමළ අභිලාශය ලෙස ඒ මහතා ඉදිරිපත් කරන නිජභූමියට වඩා සංකේතීය වෙයි.


එසේම ආචාර්ය නිර්මාල් රංජිත් ඉතා උනන්දුවෙන් සලකන ජනගහණ සංඛ්‍යාලේඛන අනුව හැත්තෑවේ දශකය සහ ඊට පෙර උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනගහන ව්‍යාප්තියට අදාළ දත්ත ඒ මහතා සලකන්නේ සංකේතීය ලෙසද පරිකල්පනාත්මක ලෙසද යන්න පැහැදිලි නැත. ඒ ප්‍රදේශවල ජීවත් වූ සිංහල ජනතාව එල්ටීටීඊය සහ වෙනත් දෙමළ ජාතිවාදී කණ්ඩායම් විසින් පළවාහැරීම පරිකල්පනාත්මකද? යටත්විජිත යුගයේ ජන අනුපාත වෙනස් කිරීම පරිකල්පනාත්මකද? පෘතුගීසි ලන්දේසි සිතියම් වල උතුරු සහ නැගෙනහිර පළාත්වන සිංහල ගම්මාන වල නම් වැඩිපුර තිබීම පරිකල්පනාත්මකද සංකේතීයද? ඒ ප්‍රදේශවලින් මතුකරගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක සියල්ලම පරිකල්පනාත්මකද? යටත්විජිත යුගයේ සිට ක්‍රියාත්මක වන වාර්ගික නීතිවලින් දෙමළ නොවන ජනයාට උතුරු පළාතේ පදිංචි වීමට බාධා එල්ල කර තිබීම පරිකල්පනාත්මකද? මගේ කමෙන්ටුවක ඇති වන්දනා ගමන්වල එල්ලීගෙන ඒ මහතා සිංහල ජනතාවගේ රාජ්‍ය පිළිබද සමස්ත අභිලාශයම (මෙය ඒ මහතාම වරක් ප්‍රකාශ කළ පරිදි සාක්ෂාත් වූ අභිලාශයකි. සාක්ෂාත් වූ අභිලාශයක් පරිකල්පනාත්මක වන්නේ කෙසේදැයි මට නොතේරේ) හුදු පරිකල්පනයක් බවට පත් කිරීමට උත්සාහ දරා ඇත. ලක්ෂ දෙකකට ආසන්න මුස්ලිම් ජනතාවක් යාපනයෙන් පළවාහැරීම දෙමළ ජනතාවගේ සංකේතීය අභිලාශයන්ට එකගවන්නේදැයි නොදනිමි. නොඑසේ නම් එය දෙමළ ජාතිවාදී පරිකල්පනාත්මක අභිලාශයක් ඊනියා සංකේතීය අභිලාශයක් බවට පත්කෙරීමට දැරූ ප්‍රයත්නයක්ද? අදටත් මේ පිරිස නැවත පදිංචි කිරීමට දෙමළ ජාතිවාදීන් විරුද්ධ වීම අප තේරුම්ගත යුත්තේ පරිකල්පනාත්මක අභිලාශයක් සංකේතීය කිරීමට වෙර දැරීමක් ලෙසද? ලංකා රාජ්‍යය තුළ දෙමළ නිජබිම නම් වූ ඊනියා උත්තර අවකාශයක් ගොඩනැගීමට දරන ප්‍රයත්නයක් ලෙසද? (මේ උත්තර අවකාශ කතාව ගැන කිව යුත්තේ පරණ කතාවම බරසාර වචන යෙදීමෙන් අලුත් කතාවක් නොවන බවය. ‘දෙමළ නිජබිම මත සිංහලයන් සිය දේශපාලන වඥාණය යොදාගෙන උත්තර අවකාශයක් ගොඩනගාගන්ඩ උත්සාහ කරනවා‘ යනු දෙමළ ජාතිවාදීන් කියන ‘දෙමළ පළාත් සිංහලයන් අල්ලාගැනීමට උත්සාහ කරනවා‘ වැනිම කතාවකි. මේ අවස්ථා දෙකේදීම ‘දෙමළ නිජබිම‘ හෝ ‘දෙමළ පළාත්‘ යනුවෙන් ප්‍රදේශ වෙන් කරගැනීම සිදු කරන්නේ අන් කිසිවක් මත නොව අර ඓහිහාසික mythical construction එක සහ දෙමළ ජාතිවාදය මත පිහිටමිනි).


පරිකල්පනාත්මක දෙමළ ජාතිවාදී කතිකාව සංකේතීය කිරීමට මුක්කු ගසන නිර්මාල් මහතා එසේ පළවා හරින ලද පිරිස තම ඊනියා පීඩිතයන්ගේ ලැයිස්තුවට ඇතුළ් නොකිරීමට හේතුව කුමක් විය හැකිද? ඒක පීඩිතයන්ගෙන් පීඩා විදින පිරිස පීඩකයන් විය යුතු නිසාද? මේ අනුව අපට අවශ්‍යනම් සිංහලයන් අන් ජනවර්ග සහ ආගම් එක් කරගෙන ගොඩනගන සංකේතීය ඒකීය රාජ්‍ය මත දෙමළ ජාතිවාදීන් විසින් පරිකල්පනීය වර්ගවාදී දෙමළ නිජබිමක් මගින් ඊනියා උත්තර අවකාශයක් ගොඩනගන්නට උත්සාහ දරන බවද කිව හැකිය. ලංකා රාජ්‍යය විසින් කරන ලද යුධ මෙහෙයුම් දෙමළ නිජබිම නම් වූ ඊනියා උත්තර අවකාශය අහෝසි කිරීමට කළ එකක් බව අපි කියමු. ඉන් ඉදිරියට ගොස් දේශපාලනකිව මෙන්ම මතවාදීවද ඒ ව්‍යාජ උත්තර අවකාශය අහෝසි කළ යුතු වෙයි. එසේම ඊශ්‍රායල් උදාහරණයේදී මෙන් බටහිර රටවල් විසින් මෙහිදීද ඒ ඊනියා උත්තර අවකාශය ගොඩනැගිමට උපකාර කරන බවද සිතිය හැකිය. ලංකාව සම්බන්ධයෙන් බටහිර රටවල වර්තමාන හැසිරීමද එමගින් සංගතව පැහැදිලි කරගත හැකිවේ. එහිදී මතු වන තවත් එක් ප්‍රශ්නයක් වන්නේ නිර්මාල් මහතාගේ සමාජවාදී සමාජය හුදු පරිකල්පන තලයෙන් ඔබ්බට යාම මේ පසුබිමේ සිට පැහැදිලි කරන්නේ කෙසේද යන්නය. දෙමළ ජාතිවාදීන්ටනම් අඩුම තරමේ ඊනියා උත්තර අවකාශයක්වත් ඇත. මාක්ස්වාදීන්ට එල්ලීමට උත්තර අවකාශයක්වත් නැත. ඒ නැති කම නිසාම ඔවුහු දෙමළ නිජබිම නම් ව්‍යාජ උත්තර අවකාශයේ එල්ලී සමාජවාදී සමාජය නම් දිව්‍ය ලෝකයට යාමට උත්සාහ කරති. එය කොතරම් ඛේදජනක තත්වයක්ද යත් ඒ ඊනියා උත්තර අවකාශය පිහිටුවීමට ධනවාදී සහ යටත්විජිතවාදී බටහිර රටවල් අනුග්‍රහය ලැබීම පවා පිළිගැනීමට ඔවුහු සූදානම් වෙති. මෙය නම් එසේ මෙසේ කඩේ යාමක් නොව උත්තර අවකාශමය කඩේ යාමකි. ඔවුන්ට අනුකම්පා කරනු හැර අපි වෙන කුමක් කරමුද?


කෙසේ හෝ වේවා ඒ මහතා අප සංගත බව (හෝ සංකේතීය බව) සලකන සාධක සැලකීම ප්‍රතික්ෂේප කරන හෝ නොසලකා හරින නිසා අපට ඒ මහතාගේම රාජ්‍යය ගැන නිර්වචනයට බැසීමට සිදුවෙයි. 

"රාජ්‍යය යනු ඒ මගින් පරිහරණය කරනු ලබන ස්වෛරී බලය (sovereign power) ක‍්‍රියාත්මක භූමි ප‍්‍රදේශය තුළ වසන ස්ථිර පදිංචි කරුවන්ගේ සාමූහික දේශපාලන විඥානයේ අවසාන ප‍්‍රකාශනය"

නිර්මාල් මහතා මේ අර්ථදැක්වීම ඉදිරිපත් කරේ සිය ලිපි පෙළෙහි 6 වැනි කොටසෙහිය. ඒ මහතාට අනුව මෙය නූතන යුගයේ රාජ්‍යයක නිර්වචනය වෙයි. කෙසේ වෙතත් ඒ මහතාම වරක් නූතන රාජ්‍යයකට උදාහරණයක් ලෙස පෙන්වාදූන් ඊශ්‍රායලය බිහිවූ භුමිය යුදෙව් ජනයා ස්ථිර පදිංචිකරුවන් වී සිටි භුමියක් නොවේ. ඒ අනුව ඒ මහතාගේ නිර්ණායකයට අනුව ඊශ්‍රායලය රාජ්‍යයක් නොවේයැයි අප කියමුද? එසේත් නැතිනම් ඒ මහතාගේ නිර්වචනයෙන් පැහැදිලි නොවන නූතන රාජ්‍ය තිබෙන අතර ඊශ්‍රායලය ඊට උදාහරණයක්ද? නැතිනම් මෙයින් පෙනෙන්නේ ඊශ්‍රායලයේ සිදුවූ පරිදි අධිරාජ්‍යවාදීන් විසින් තමන්ගේ අභිලාශයන් මුදුන් පත් කරගැනීමට විවිධ ජනවර්ගවලට ඇතැයි කියන අභිලාශයන් නිදහසට කරුණක් කර ගනිමින් රාජ්‍ය නිර්මාණය කිරීමට ඉඩ ඇති බවද?

ඊශ්‍රායල උදාහරණයෙන් තවත් කාරණයක් ඉල්පී එයි. එය නම් වර්තමානයේ ඊශ්‍රායලයේ ස්ථිර පදිංචිය ඇති අය යුදෙව් ජනයා බවය. එය ඉබේ සිදුවූවක් නොව සංවිධානාත්මකව කෙරුන ජනපදකරණයක සහ වාර්ගික පවිත්‍රකරණයක ප්‍රතිඵල වෙයි. එදා මේ නිර්වචනයට අනුව ඊශ්‍රායලය රාජ්‍යයක් නොවේ (නමුත් එදා එවැනි රාජ්‍යයක් බිහිවිය. රාජ්‍යයක් නොවන රාජ්‍යයක් බිහිවීම නිර්මාල් මහතා පැහැදිලි කරන්නේ චතුස්කෝටිකයෙන්ද?) කෙසේ නමුත් ‘අද‘ මේ නිර්වචනයට ඊශ්‍රායලය දැම්මොත් ඊශ්‍රායලය රාජ්‍යයක් බව නිගමනය කිරීමට සිදුවෙයි. මන්ද ‘අද‘ යුදෙව්වන් ඒ භූමියේ ස්ථිර පදිංචිකරුවන් වන හෙයිනි. එමතුද නොව ඔවුන් වාර්ගික පදනමෙන් සාමූහික දේශපාලන විඥාණයක් නිර්මාණය කරගෙන ඇති හෙයිනි. දශක ගණනාවකට පෙර ඔවුන් එහි ස්ථිර පදිංචිකරුවන් නොවීම හෝ පලස්තීනුවන් පළවාහැරීම මේ නිර්වචනයට අදාළ නැත. මෙයින් සලකන්නේ ‘අද‘ තත්වය පමණි. ජනවාර්ගික පවිත්‍රකරණයකින් හෝ වාර්ගික රාජ්‍යයක් පිහිටුවීම අනුමත කිරීමක් නොවේද මෙයින් සිදුවන්නේ? නිර්මාල් මහතා පෙනී සිටිනවායැයි කියන සමාජවාදී සමාජයද මේ?


මේ නිර්වචනයට අනුව ඓතිහාසික සාධක ගැන සදහනක් නොමැත. නමුත් සාමූහික දේශපාලන විඥාණයක් ගැන සදහන් වෙයි. ප්‍රශ්නය මේ දේශපාලන විඥාණය ඓතිහාසික සාධකවලින් ස්වායත්ත නොවීමය. දේශපාලන විඥාණයක් ඔපපාතිකව පහළ නොවේ. සිංහලයන්ගේ දේශපාලන විඥාණය මෙන්ම දෙමළ ජාතිවාදී දේශපාලන විඥාණයද ඔවුනොවුන්ගේ ඓහිහාසික දැක්ම මත පදනම් වෙයි. එසේ තිබියදී නිර්මාල් මහතා ඓතිහාසික සාධක නොසලකා හැරීම ඔහුගේ රාජ්‍යය පිළිබද අර්ථකථනයට අනුවම දෝෂ සහගතය. 


ඊටත් වඩා වැදගත් කාරණයක් වන්නේ මේ නිර්වචනය අනුව ඊනියා දෙමළ නිජභූමියද ප්‍රශ්නයට ලක් වීමය. දෙමළ නිජභූමිය යනු වාර්ගික විඥාණයක් මත ගොඩනගාගත් සංකල්පයකි. මේ අර්ථකථනයේදී සලකා බලන්නේ යම් ජනකොටසකගේ (ඒ කොටස බහුතරයද යන්න නොකියවෙයි. කිසිම භූමි ප්‍රදේශයක 100%ක් එකම ජනකොටසක් නොවසන බැවින් මෙතැන සලකන්නේ බහුතර ජනවර්ගය විය යුතුය) ස්ථිර පදිංචිය සහ දේශපාලන විඥාණය පමණකි. කලින් කියූ පරිදි දේශපාලන විඥාණය ඓතිහාසික සාධක මත රදා බවතී. ඒ නැතත් සිංහල දේශපාලන විඥාණය ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ වටා දේශපාලන ව්‍යාපාරයක්ද ගොඩනගාගෙන ඇත. මේ නිසා දෙමළ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයක් තිබීම මෙහිදී තීරක සාධකයක් නොවේ. 


ඒ නිසා දෙමළ ජනතාවගේ අභිලාශයේ සංකේතීයත්වය හෝ යථාර්තවාදීත්වය රදා පවතින්නේ මෙහි සදහන් වන ස්ථිර පදිංචිය යන සාධකය මත විය යුතුය. මේ ස්ථිර පදිංචිය යනු කුමක්දැයි පැහැදිලි නැත. ස්ථිර පදිංචිය යන නෛතික නිර්ණායකට අර්ථ දැක්වෙන්නේද දැනට පවතින රාජ්‍යයක ඉඩම් අයිතිය අනුවය. උදා ලෙස ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හෝ එවැනි ආයතනයක ලියාපදිංචි වී ඇති ඉඩම්ය. දැනට පවතින රාජ්‍යයක ඇති නෛතික ඉඩම් අයිතියක් මත පදනම්ව වෙනත් රාජ්‍යයක දේශපාලන විඥාණයක් පනවාගැනීමම ප්‍රශ්නයකි. බොහෝ විට මෙතැන ස්ථිර පදිංචියක් ගැන කතා කරන්නේ එවැනි නෛතික පදනමකින් නොව සම්මුති පදනමකින් විය හැකිය. නමුත් ඒ ප්‍රශ්නය මොහොතකට නොසලකා හරිමු.


දෙමළ නිජභූමිය පනවන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධවය. 1948 නිදහස ලැබෙන විටද මේ පළාත් වෙනම පැවතුනි. අද වන විටත් නැගෙනහිර පළාතේ බහුතරය දෙමළ නොවන අය වෙති. දෙමල සහ මුස්ලිම් ජනතාව සම සමව මෙන්ම සැලකිය යුතු සිංහල ප්‍රතිශතයක්ද නැගෙනහිර පළාතේ වසති. එවන් තත්වයක් තුළ නැගෙනහිර පළාත ඊනියා දෙමළ නිජභුමියට එක් කල හැකිද? මන්ද නැගෙනහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් බහුතරයකගේ දේශපාලන විඥාණය ඊට අනුකූල නොවන බැවිනි. දෙමළ දෙමළ නිජභූමිය පනවන්නේ දෙමළ වාර්ගික විඥාණයකින් මිස උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථිර පදිංචි සියලු ජනතාගේ සාමූහික දේශපාලන විඥාණයකින් නොවේ. නැගෙනහිර පදිංචි දෙමළ ජනතාවද මුළුමුනින්ම දෙමළ නිජබිමක් මත තම දේශපාලන විඥාණ හසුරුවන බවක් නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල වලින් විද්‍යාමාන නොවේ. එසේ නම් නිර්මාල් මහතාගේ මේ රාජ්‍යය ගැන නිර්වචනයට අනුවම දෙමළ නිජබිම මත පදනම් වූ රාජ්‍යයකින් නැගෙනහිර පළාත හැළිමට සිදුවනු ඇත. මන්ද එහිදී ‘ස්ථිර පදිංචිය‘ ප්‍රධානතම සාධකය වන හෙයිනි. එසේම මේ අර්ථකථනයට අනුව යම් ප්‍රදේශයක ස්ථිර පදිංචියක් නැති පිරිසකට ඒ ප්‍රදේශයේ රාජ්‍යයක් පිහිටුවීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් දෙමළ නිජභූමියෙන් නැගෙනහිර පළාත ඉවත් කෙරෙන රාජ්‍යය පිළිබද වූ නිර්වචනයකට පළමුවෙන්ම විරුද්ධ වන්නේ දෙමළ ජාතික සන්ධානය බව නොකිවමනාය. දෙමළ ජාතිවාදීන් පැහැදිලිවම තම අභිලාශය පදනම් කරගෙන ඇත්තේ ඓහිතාසික පදනමකිනි. නැගෙනහිර පළාතේ දෙමළ බහුතරය නොවුවද එය ඔවුන් විසින් සිය ඊනියා නිජබිමට එක් කරගෙන ඇත්තේ එහෙයිනි. ඒ ඓහිතාසික පදනම ආචාර්ය නිර්මාල්ට අනුව සිංහල ජාතිකවාදීන් යොදාගන්නා ඓතිහාසික පදනමට වඩා අසංගත වන අතර දැන් දෙමළ නිජබිමක් මත පදනම්වන දේශපාලන විඥාණය ඔහුගේ රාජ්‍යය ගැන වන නිර්වචනයද පටහැනි බව අපට කිව හැකිය. දෙමළ නිජභුමියට නැගෙනහිර පළාත බලහත්කාරයෙන් ඈදා ගැනිමෙන් නිර්මාල්ගේ උත්තර අවකාශ කතාව වඩාත් ගැලපෙන්නේ ඊනියා දෙමළ නිජභුමියටම බව වඩාත් තහවුරු වේ.


එපමණක්ද නොව ඊනියා දෙමළ නිජභූමියෙන් පිට ස්ථිර පදිංචිකරුවන් වන දෙමළ ජනතාවගේ දේශපාලන විඥාණය මේ අනුව සලකා බැලිය නොහැකිය. මන්ද ඔවුන් එහි ස්ථිර පදිංචිකරුවන් නොවන බැවිනි. චරිත පෙන්වාදුන් පරිදි වර්තමාන සංගණන වාර්තාවලට අනුව දෙමළ ජනතාවගෙන් 52%ක් ජීවත් වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පිටය. ඒ අනුව දෙමළ නිජබිමක් මත පදනම්වන දේශපාලන විඥාණය ඒ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන සමස්ත දෙමළ ජනතාවගෙන් සුළුතරයකයේ සාමූහික විඥාණය මත පදනම්වූවක් ලෙස මේ නිර්වචනය අනුව සැලකීමට සිදුවෙයි. 


අනෙක් අතට නිර්මාල් මහතාගේ රාජ්‍යය පිළිබද අර්ථකථනය සිංහලයන් රාජ්‍යය පනවාගන්නා ආකාරයට සමීප වෙයි. මේ අර්ථකථනයේ වාර්ගික පදනමක් ගැන නොකියවෙන අතර එහිදී වැදගත් වන්නේ යම් ප්‍රදේශයක (මුළු රටේම) ස්ථිර පදිංචිකරුවන්ගේ සාමූහික පොදු දේශපාලන විඥාණයක් පනවාගැනීමය. ආචාර්ය නිර්මාල් සිය නිර්වචනයේ සදහන් කරන සාමූහික දේශපාලන විඥාණය වාර්ගික පදනමකින් වෙන්වීමෙන් ඇති වන දේශපාලන විඥාණයක් නොව විවිධ ජනවර්ග එකතු වීමෙන් ගොඩනැගෙන සාමූහික දේශපාලන විඥාණයක් බව අපි කියමු. එහිදී විවිධ ජනවර්ග සහ ආගම් අදහන අය පොදු දේශපාලන විඥාණයක් මත එක්කිරීමක් සිදුවෙයි. සියලු ජනවර්ගවලට සහ ආගම්වලට අයත් අයගේ ස්ථිර පදිංචිය මුළු රටම ලෙස සැලකිය හැකිය. ඒ මුළු රටේම ස්ථිර පදිංචිකරුවන් පොදු දේශපාලන විඥාණයක් යටතට ගැනීම එහිදී සිදුවෙයි. සිංහලයන් පමණක් නොව උතුරු සහ නැගෙනහිර පළාත් වල මෙන්ම ඉන් පිටතද ජීවත් වන දෙමළ ජනතාව ඊට එක්කාසු කරගත හැකිය. ඇත්ත වශයෙන්ම ආචාර්ය නිර්මාල් රංජිත් නොදැනුවත්වම හෝ කර ඇත්තේ සිය රාජ්‍ය පිළිබද නිර්වචනය මගින් වාර්ගික බෙදීම මත පදනම්වූ දෙමළ නිජභූමිය ප්‍රතික්ෂේප කරන අතරතුර සිංහලයන් විවිධ ජනවර්ග එකතු කිරීමෙන් ජාතිය සහ රාජ්‍යය නිර්මාණය කර ගැනීම අනුමත කිරීමය. ඒ ගැන අපි ඔහුට ස්තුතිවන්ත වෙමු.


අවසාන වශයෙන් චරිත විසින් වරක් පෙන්වා දුන් ‘කිරිබත් තර්කය‘ භාවිත කරමින් ආචාර්ය නිර්මාල් තම ලිපිය අවසන් කරයි. දඹදිව වන්දනාවේ යන සිංහලයන් සහ නාගදීපයේ යන සිංහලයන් යන්නේ වන්දනාවේ බැවිනි දඹදිව යන අයටද එය තමන්ගේ රාජ්‍යයක් යැයි පරිකල්පනාත්මක දැක්මක් ඇතැයි ඔහු උපකල්පනය කරයි. මෙය බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය ගැන ඒ මහතාගේ නොදැනුම ප්‍රදර්ශනය කරන කියමනක් වන අතර ඊට අපි ඒ මහතාට සමාව දෙමු. සිංහල බෞද්ධයන් දඹදිව යන්නේ බුදුහාමුදුරුවන් එසේ යන්නට දේශනා කර තිබෙන නිසා මිස එය තම රාජ්‍යයේ කොටසක් ලෙස පරිකල්පනාත්මකව සිතන නිසා නොවේ. සැදැහැවත් බෞද්ධයන් විසින් බුදුවරයකු උපන් තැන, බුදුවූ තැන, පළමු ධර්ම දේශනය කළ තැන සහ පිරිනිවන් පෑ තැන දැකබලාගෙන සිත පහදවාගත යුතු බව උන් වහන්සේ දේශනා කර ඇත. සිංහල බෞද්ධයන් දඹදිව යන්නේ ඒ අවවාදය පිළිපැදීමටය. සිංහල බෞද්ධයෝ පමණක් නොව තායි බෞද්ධයෝ, බුරුම බෞද්ධයෝ මෙන්ම ජපන් බෞද්ධයෝද දඹදිව වන්දනාවේ යති. එකම ක්‍රියාව විවිධ අය විවිධ අවස්ථාවල විවිධ අරමුණු වලින් කරති. ක්‍රියාව එකම වූ බැවින් අරමුණුද එකම බැව් නොහැගවෙයි.


අනෙක් අතට මේ ලිපියෙන් අපට පෙනී යන්නේ ඒ මහතා දෙමළ ජනතාවගේ අභිලාශය වෙනම රාජ්‍යයක්නම් ඊට විරුද්ධ නොවන බවය. සුපුරුදු පරිදි ඒ මහතා කිසිම තැනක මේ බව සෘජුව නොකියන නමුත් ඒ මහතාගේ මුළු ලිපියම සමස්තයක් ලෙස බැලූ විට එහි ඇත්තේ දෙමළ අභිලාශය යථාර්තවාදී බැවින් සිංහලයන් සිය ෆැන්ටසිය අතහැර දමා එය පිළිගත යුතු බවයි. එහිදී වෙනම දෙමළ ජාතික රාජ්‍යයක් නිර්මාණය වීමට කිසිදු බාධාවක් න්‍යායාත්මකව නැත. විශේෂයෙන්ම ඒ මහතා යොදා ගන්නා දඹදිව උදාහරණයෙන් මේ බව වඩාත් තහවුරු වෙයි. දඹදිව, භාරතය හෝ ඉන්දියාව ඉතිහාසයේ කවරකලෙකවත් වර්තමානයේවත් සිංහලයෝ පරිකල්පනාත්මකවවත් තමන්ගේ රාජ්‍යයේ කොටසක් ලෙස නොසලකති. එය පැහැදිලිවම විදේශීය රාජ්‍යයකි. නිර්මාල් මහතා වෙනුවෙන් අදහස් දක්වන වංගීෂ සහ මනෝජ් (එවැනි කෙනෙක් ඇත්තටම සිටීද යන්න මෙහිදී අදාළ නැත) වෙනම රාජ්‍යයකට විරුද්ධ බව කියති. ඔවුන්ට අනුව එයින් සමාජවාදී සමාජයකට අවශ්‍ය වාර්ගිකහරණයක් සිදු නොවේ. වාර්ගිකහරණයක් සිදුවීමටනම් බලය බෙදා දෙමළ වාර්ගික දේශපාලනය තුළ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මතුවීමට ඉඩදිය යුතුය (මේ අදහසටද අපි එකග නොවෙමු. මක් නිසාද යත් එහිදී දෙමළ වාර්ගිකහරණයට සහ සිංහල වාර්ගිකහරණයට ක්‍රමවේද දෙකක් යොදා ගැනීමට හේතුව එහිදී සංගතව පැහැදිලි නොකෙරෙන බැවිනි). එහෙත් නිර්මාල් මහතා පැහැදිලිවම වෙනම රාජ්‍යයකට විරුද්ධ බවක් නොපෙනේ. එසේ නිර්මාණය වන නව ජාතික රාජ්‍යයකින් ජාතිය අහෝසි වීමක් හෝ යටපත් වීමක් වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි නැත. කොටින්ම දෙමළ ජනතාවගේ අභිලාශ ගැන කතා කරන නිර්මාල් මහතාගේ අභිලාශය කුමක්ද? දෙමළාගේ අභිලාශය සාක්ෂාත් වීමෙන් නිර්මාල්ගේ අභිලාශය සාක්ෂාත් වන්නේ කෙසේද යන්න ඔහු අපට පැහැදිලි කළ යුතුය. ඒ අභිලාශය සමාජවාදී සමාජයක්නම් දෙමළ ජාතික රාජ්‍යයක් බිහිවීමෙන් ඊට මග පෑදෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඒ මහතා දෙමළ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින්නේ මාක්ස්වාදය මත පදනම්ව නොව දෙමළ ජාතිවාදය සහ/හෝ හුදු සිංහල බෞද්ධ විරෝධය මත පදනම්ව බවද මාක්ස්වාදය යනු ඔහු එහිදී පැළදගන්නා වෙස්මුහුණක් පමණක් බවද අපට නිගමනය කිරීමට සිදුවේ.


අවසාන වශයෙන් මා ආචාර්ය නිර්මාල් රංජිත්ට යෝජනා කරන්නේ ඔහුම ලියූ ලිපි පෙළ නැවත කියවා බලා එහි ඇති විසංවාද සහ පැටලිලි අඩු කර ගැනීමට උත්සාහ ගන්නා ලෙසය. කොටින්ම දැන්වත් පඹ ගාලෙන් එළියට එන ලෙසය. ඒ මහතා ස්වකැමැත්තෙන්ම පඹගාල තුළට වී අපටද එයට ඇතුළු වීමට ආරාධනා කරයි. ඉදින් අපි කුමක් කරමුද?





1.  5 වන ලිපිය

නමුත් මා ‘ඓතිහාසික නිජබිම්’ පිළිබඳ දෙමළ ජාතිකවාදී කියා පෑම දකින්නේ සිය දේශපාලන අභිලාෂ සුජාත කරණය කිරීම සඳහා ගොඩනංවා ඇති මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් (mythical construction) ලෙසයි. මා මේ ප‍්‍රකාශය කළ වහාම මගේ සිංහල ජාතිකවාදී කඳවුරේ ප‍්‍රතිචාරකයින් ‘‘ ඕක තමයි අපිත් කියන්නේ’’ යයි කියනු ඇත. එසේ කීමට කලබල වීමට අවශ්‍ය නැත. මා ප‍්‍රකාශ කරන්නේ ‘ඓතිහාසික දෙමළ නිජබිම්’ පිළිබඳ ප‍්‍රවාදය මෙන්ම ඊට විරුද්ධව සිංහල-බෞද්ධ ජාතිකවාදී පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති ‘උතුරු නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය’ පිළිබඳ ප‍්‍රවාදය ද මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් බවයි.
දැන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රකාශකයෙක් කියනු ඇත්තේ දෙවනුව කී ප‍්‍රවාදයට පක්ෂව වැඩිපුර සාධක ඇති බවයි. නලින් ද සිල්වා කියනු ඇත්තේ එම ප‍්‍රවාදය වඩා සංගත බවයි. එම ප‍්‍රකාශයට පදනමක් තිබෙන බව මම ද පිළිගනිමි.


මුල් ලිපිය - 

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – (11 කොටස)


-------------------------------------------------------------------------------------------------------------------
උපුටාගැනීම,
http://on.fb.me/1GXy9sC

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...