Sunday, March 8, 2015

1818 උඩරට මහ කැරැල්ලට මංපෙත් විවර වූ අයුරු

1818 උඩරට මහ කැරැල්ලට මංපෙත් විවර වූ අයුරු

උඩරට ගිවිසුමට වසර 200ක් පිරීම නිමිත්තෙනි

(විමලරත්න හීනාගම
)
සිංහ‍ලේ ජන ප්‍රධානීන් යැයි පෙනී සිටි ඊනියා සිංහලයන් කිහිප දෙනෙකු විසින් තම පෞද්ගලික කෝන්තර කිහිපයක් පිරිමසා ගනු වස් ක්‍රි.ව. 1815.02.18 දින තමන්ගේම රජු අල්ලා, බැඳ කුදලා ඉංග්‍රීසීන් වෙත පාවාදී ඉන් දොළොස් දිනක් ඉක්ම ගිය එම මාර්තු මස 02 දින කුප්‍රකට 'උඩරට ගිවිසුම' නම් තෑගි ඔප්පුව මගින් සිංහ‍ලේ රාජධානියද ඉංග්‍රීසීන් වෙත පවරා දෙනු ලැබිය.
ඉන් දෙවසරක් ඉක්ම ගිය 1817 අවසන් භාගයේදී ඌවෙන් පුපුරා ගොස් සිංහ‍ලේ පුරා බුර බුරා ඇවිල ගිය උඩරට මහ කැරැල්ල හෙවත් ඌව කැරැල්ල ඉංග්‍රීසීන් විසින් සිංහ‍ලේ විමුක්තිකාමීන්ගේ ලෙයින් හා කඳුළින් නිවා සමතලා කර දමා අදට වසර 196ක් ගෙවී ගොස් ඇතත්, එවන් කැරැල්ලක් පුපුරා යාමට තුඩු දුන් හේතු බොහොමයක් අදටද ඉතිහාසයේ සැඟවුණු රහස් ලෙසින් පවතී.
වගන්ති 12කින් යුත් පිළිගත් ජාත්‍යන්තර ගිවිසුමක් වූ ඉහත ගිවිසුමේ කොන්දේසි එකිනෙක ඉංග්‍රීසීන් විසින් බිඳ දමන්නට වූයේ එකී ලියැවිල්‍ලේ තීන්ත වියළී යාමටද පෙර බව මෙරට බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. වෙසෙසින්ම මේ ගිවිසුමට මෙරට සංඝයා වහන්සේලාගේ අනුකූලතාවය ලබාගත හැකි වූයේ එහි ප්‍රබලම වගන්තියයි කිව හැකි 5 වන වගන්තිය මගින් වන අතර, ඉන් කියැවුණේ බුද්ධ ශාසනය හා දේවාගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එහි කටයුතුද, සංඝයාද, විහාරස්ථාන හා දේවාලද ආරක්ෂා කරන්ඩත් ඕනෑය.... යන්නය. පෙරද සඳහන් කළ පරිදි ඉංග්‍රීසීන් මේ ගිවිසුමේ කොන්දේසි කඩකරන්නට වූයේ එය අත්සන් තබා දෙසතියක් ඉක්ම ගිය තැන් සිටය. උත්ප්‍රාසකය නම් ඔවුන් 'වැඩ ඇල්ලුවේම' ඉහත කී 5 වන වගන්තිය බිඳ දමමිනි. සතුරු විජිතයකට කඩා වැදුනු පරසතුරන් රැළක් මෙන් ඌව පළාතට කඩා වැදුනු ඉංග්‍රීසි හමුදාවේ 4 වන රෙජිමේන්තුවේ මැර භටයන් විසින් රුහුණු මහා කතරගම දේවාලය බිඳ දමා, එහි දේව ප්‍රතිමා වනසා දමා දෙවොලෙහි වූ රන් දේවායුධ ඇතුළු ඔවුනට ගෙන යා හැකි සියලු චංචල දේපළ කොල්ල කෑ අතර, එහි බස්නායක නිලමේට අයත් සියලු වස්තුව කොල්ල කනු ලැබුයේ ගිවිසුම අත්සන් තබා දින 16ක් ඉක්ම ගිය එම මාර්තු මස 18 දිනය. එහිදී ඔවුන් පැහැරගත් දේපළ අතර දේවාලයට අයත් 'කළුවා නාම්බා' සහ '.ටිකිරා' යන ඇතුන් දෙදෙනාද විය.
ධන තෘෂ්ණාවෙන් වියරු වැටුනවුන් මෙන් අනතුරුව බදුලු පුරයට කඩා වැදුනු ඔවුහු පුරාණ බදුලු කතරගම දේවාලයට කඩා පැන එහි පිළිම කඩා විනාශ කර දමා එහි වූ සියලු වස්තුව සමග දේවාලයට අයත් ඇතුන් ද පැහැරගෙන ගියහ.  ඉන්පසු පුරාණ බෝගොඩ රජමහා විහාරයට කඩා වැදුනු මැර සෙබළු එහි සිටි බැතිමතුන් හා භික්ෂුන් වහන්සේලා ගස් බැඳ පහර දී යතුරු උදුරාගෙන පන්සලට කඩා වැදී එහි තිබූ වටිනා ඇත් දළ යුවළෙහි සිට හුණු කිල්ලෝටය දක්වා වූ තඹ - පිත්තල භාණ්ඩ, සිවුරු - පිරිකර, කොට්ට - මෙට්ට, ඇඳ - ඇතිරිලි, ලාම්පු, කුසලාන්, සෙම්බු, පඩික්කම්, ගිරා ආදී සඟ සතු දේපළ කොල්ල කෑහ. අනතුරුව පන්සල් අටුවේ තිබූ වී හා සහල් තොග පිටතට ගෙන සය දිනක් තිස්සේ දිවා රෑ දෙකෙහි පී්‍රති ඝෝෂා කරමින් ගිනි තබා විනාශ කළහ. අවසානයේ ඉතිරිව තිබූ, ගෙන යා හැකි සියල්ල මිනිසුන් හා ගැල් මගින් පැහැරගෙන ගියහ. මෙලෙසින්ම ඇල්ල, කටුගහ යන විහාරස්ථානවලටද කඩා පැන, එහි භික්ෂුන්ට පහර දී බරපතළ ලෙස තුවාල කොට පෙති පිළිම වනසා දමා එහි සියලු වස්තුව පැහැරගෙන ගියහ. මෙසේ ඌවේ බෞද්ධ විහාරස්ථාන හා දේවාලවලින් ඔවුන් කොල්ල කෑ දේපළවල වටිනාකම ගිනිය නොහැකි තරම් වූ අතර ඔවුන් පැහැර ගෙන ගිය ඇතුන් සංඛ්‍යාව පමණක් 09 දෙනෙකු විය.
මේ අතරෙහිම බොදු සිත්සතන් බෙහෙවින් සසල කරවනු සමත් නොයෙක් දෑ මහනුවර පූජා භූමිය තුළද සිදුවනු දැකිය හැකි විය. ශ්‍රී දළඳා සමිඳුන් වැඩ සිටිනා ශ්‍රී දළඳා මැදුරේ පත්තිරිප්පුව ආණ්ඩුකාර බ්‍රවුන්රිග් තම නිල නිවාසය බවට පත්කරගත් අතර, එහි බිම් මහල ඔහුගේ ආරක්ෂක ප්‍රධානියකුගේ ලැගුම් හල බවට පත්කරගෙන තිබිණි.
1815 අප්‍රේල් මාසයේ දිනක එංගලන්තයේ යටත් විජිත භාර මහ‍ලේකම් බැතර්ස්ට් සාමිවරයා වෙත බ්‍රවුන්රිග් යැවූ ලිපියක් මගින් හෙතෙම තමා අත්සන් තැබූ උඩරට ගිවිසුම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් මෙම ගිවිසුමට රදළ ප්‍රධානීන්ගේ හා සංඝයාගේ අනුකූලතාවය ලබාගත හැකිවූයේ එහි 5 වන වගන්තිය පිරිසිදු ලෙස පිළිපදින බව පැහැදිලි කරදීමෙන් පසුවය...යි ලියා යවා තිබිණ. එහි හාස්‍යයට කරුණ නම් එහි දාතම වී තිබුණේ 1815-04-01 දිනය. අන්ලෙසකින් කිවහොත් ඔහු සිය මැර හමුදාව මගින් සිංහ‍ලේ පුරා මුදා හැර තිබූ ඉහත කී භීෂණ ක්‍රියාදාමය දියත් කිරීමෙන් දෙමසකට පසුව වීමය.
පිළිගත් ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ පාලනය භාරගත් යටත් විජිතයක භාරකරුවෙකු වශයෙන් ඔහු එවන් ප්‍රකාශයක් ලියා යැවීමට තරම් නිර්ලජ්ජිත වී තිබිම ගැන පුදුම විය යුතුද නොවේ. මන්දයත් රාෂ්ට්‍ර පාලකයෙකුට තරම් නොවන අශික්ෂිත ප්‍රතිඥා ඝාතකයෙකු ලෙසින් ඔහු ලක්වැසියන් හමුවේ නිරුවත්වී සිටියේ එයට දෙමසකට පෙර සිට බැවිනි.
මේ අතර සිංහ‍ලේ වැසියන් පෙර නෑසූ විරූ සිදුවීමක් මහනුවර නගරයේ සිදුවූයේ 1815-12-22 දිනය. බ්‍රවුන්රිග්ගේ ලස්කිරිඤ්ඤ හා පයනියර් භට සේනාංකවල සිටි මුස්ලිම් භට පිරිස් සංවිධානය වී මහනුවර විසූ මුස්ලිම් ජනයාද එකතු කොට ගෙන මහනුවර නගරයේ පෙරහරක් පැවැත්වූහ. එහිදී ඔවුහු අස්ගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේ නමකගේ මුහුණුට අළු දමා ගසා, පහරදී එහිමියන් අත වූ වටාපත උදුරා, ඉරා විසිකර දැමූහ. මෙය සිදුවූයේ ආණ්ඩුකාර නිල නිවාසය නෙත ගැටෙනා මානයේදීය.
සිංහ‍ලේ රජු දවස ආගම කෙලෙසීමේ වරදට හසුවූවන් මහනුවර වීදි දිගේ කස පහර දෙමින් ඇදගෙන ගොස් දඟ ගෙයි ලූ රටේ භික්ෂුවකට හිරිහැර කිරීමේ වරදට වරදකරුගේ ඇඟිල්ලක් කපා දැමීම මගින් දඬුවම් කළ රටේ රජුගේ කුරිරු පාලනයෙන් රට මුදාගැනීමටය'යි එහෙව් රජු අල්ලා බැඳ කුදලා දැමූ ඇහැළේ‍පොළලා රට පවරා දුන් බ්‍රවුන්රිග් උඩරට ගිවිසුමේ 5 වගන්තිය ආරක්ෂා කළේ එසේය.
1816-06-01 දින හෙතෙම බැතර්ස්ට් වෙත ලියා යැවූ ලිපියක මෙසේ සඳහන් කර යැවීය. ...එකී ගිවිසුමේ 5 වන වගන්තියේ 'කඩකළ නොහැකිව'යන්නෙන් මා අදහස් කළේ, බුද්ධාගම අහෝසි කර නොදැමිය යුතු නැතහොත් ඊට අවහිරකම් ඇති නොකළ යුතු යන්නට වැඩිමනක් පිළිගැනුමක් මා මනසෙහි නොවූ බව ගරු ශ්‍රීමතුන් වෙත සහතික කොට පැවැසිය හැකිය. ඔහුගේ මේ ප්‍රකාශය අපට පසක් කරවන්නේ ඔහු තම නින්දිත ක්‍රියා කලාපය සාධාරණීකරණය කරනු වස් ගිවිසුමේ වචන පවා ඔහුට ඇවැසි ලෙස කණපිට හැරවීමේ නිර්ලජ්ජිත ප්‍රයත්නයක යෙදෙමින් සිටි අයුරු නොවේදැයි සිතනු වටී.
සිංහ‍ලේ රජු දවස රාජ භාණ්ඩාගාරයට අයත් වස්තුව, රජයේ දේපළ සහ විහාර, දේවාල හා භික්ෂූන්ට අයත් දේපළ සොරකම් කිරීම, ගෙවල් බිඳීම හා මංපැහැරීම සාහසික අපරාධ ගණයෙහි ලා සලකා, වරදකරුවන් මහනුවර වීදි දිගේ කස පහර දෙමින් (ඇතැම්විට මගදීම මිය යන තෙක්) ඇදගෙන ගොස් දඬුවම් කළ රටේ අලුතින් පැතිර ගිය යටකී මංකොල්ල ව්‍යාපාරය බ්‍රවුන්රිග්ට නම් තම ගෝල බාලයන්ගේ හපන්කම්වලට වඩා දෙයක් නොවීය.
යට කී කොල්ල කල්ලියේ ඊළඟ ඉලක්කය වූයේ ඌවේ ධනවත් ප්‍රධානීන්ගේ දේපළය. හමුදා මැරයන් ළඟ එන බව ඇසූ තුන්කෝරළයේ හිටපු දිසාවේ හත්කිඳ මත්තමගොඩ දිසාවේ තම පවුල සහ දේපළ ගල්ගුහාවක සඟවා තැබුවේය.
එහෙත් ඔහුගේ භාර්යාව, හත්කිඳ මහත්මයෝ තම හිතවත් මෙහෙකරුවන් කිහිපදෙනෙකුගේ උදව්වෙන් දිවි බේරාගෙන පලායාමට සමත් වුවද, ඔවුන්ගේ වස්තුව කොල්ලකරුවන්ගෙන් බේරාගැනීමට අසමත් විය. මත්තමගොඩ දිසාවේගෙන් කොල්ල කෑ දේපළවල වටිනාකම පමණක් රික්ස් ඩොලර් 16000කට වැඩි යැයි ගණනය කර තිබිණි. එහිදී ඔහු වඩාත් කම්පා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙතින් ඔහුට ලැබි තිබූ සන්නස් දෙකද එහිදී ඔහුට අහිමිවී තිබිම ගැනය.  මුල්‍ලේගම දිසාවේගේ දේපළද කොල්ලකරුවන් අතට පත්වූ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඔහුට ත්‍යාග කර තිබූ හස්තියා සහ අශ්වයාද ඔවුහු පැහැරගෙන ගියහ.
ඔහුගෙන් පැහැරගත් වටිනා කළුමැදිරිය අල්මාරිය සහ සෝපාව රත්නපුර ඉංග්‍රීසි කඳවුරට ගෙන ගිය බව පසුව දැනගන්නට ලැබිණි. මෙලෙසින්ම ඌවේ තල්දෙත, මොහොට්ටාල, ගොඩගෙදර මොහොට්ටාල, හල්පේ මොහොට්ටාල, ගන්දෙනියේ මොහොට්ටාල, කටුගහ අදිකාරම් යන ප්‍රධානීන්ටද තම දේපළ කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට නොහැකි විය.
සැබැවින්ම මේ මංකොල්ල ව්‍යාපාරයට මුල්ම පූර්වාදර්ශ සැපයූවෝ කවරහුදැ'යි අදත් ඉතිහාසයේ රහසක්ව පැවතුනද, මෙරට සැඟවුණු ඉතිහාසය ඔවුන් කවුරුන්දැයි පෙන්වා දෙයි. එහෙයින් ඒ පිළිබඳව මොහොතකට අවධානය යොමු කිරීම අනුචිත නොවේ.
ඉංග්‍රීසීන්ගේ මාර්ගෝපදේශකයන් වූ ඇහැළේ‍පොළගේ සබරගමුවේ මැර හමුදාව විසින් 1815-02-18 දින, ජීවිතාරක්ෂාව පතා මැද මහනුවර බෝමුරේ උඩුපිටියේ ආරච්චිලාගේ නිවසේ සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගනු ලැබූ අවස්ථාවේ තම සේවකයන්ට ත්‍යාග කිරීම පිණිස රජු තමා වෙත තබාගෙන සිටි මාල, මුදු හා මුතු මැණික් ඇතුළු වටිනා වස්තුව මේ මැර කල්ලියේ ප්‍රධානියා සහ ඔහුගේ සහකරු විසින් පැහැර ගන්නා ලද අතර, අනතුරුව රජු හා බිසෝවරුන් පැළඳ සිටි ස්වර්ණාභරණ සියල්ලද ඔවුන්ගේ කන් පවා ඉරා දමමින් පැහැර ගනු ලැබ, එතෙකින්ද නොනැවතී රජු හා බිසෝවරුන් නිරුවත් වන තුරු ඔවුන් හැඳ සිටි වස්ත්‍රද ගලවා ගත්හ. මේ මැර ප්‍රධානියා වූ කලී ඇහැළේ‍පොළගේ මැර නායක එක්නැලිගොඩ මොහොට්ටාල වන අතර, ඔහුගේ සහයකයා වූයේ ඇහැ‍ලේ‍පොළ වලව්වේ සේවකයෙකු වූ කිරි‍පෝරුවේ මොහොට්ටලාය. මේ තිරශ්චීන ක්‍රියාව ඔවුන් සිදුකළේ ඔවුන් හා පැමිණි ඉංග්‍රීසි සොල්දාදුවන් ඉදිරිපිටදී, ඔවුන් බලා සිටියදීය. අදද ජාතික කෞතුකාගාරයේ සුරැකිව ඇති, රජ බිසවගේ ‍ලේ තැවරුනු සැට්ටය 1941-02-01 දින කෞතුකාගාරය භාරයට පත්වන තෙක් තිබුණේ යට කී කිරි‍පෝරුවේ මොහොට්ටාලගේ මුණුබුරෙකු වූ කිරි‍පෝරුවේ හේරත් මුදලිගේ පුංචි බණ්ඩාර යන අය වෙතය.
මේ මංකොල්ල ව්‍යාපාරයේ එක්නැලිගොඩටත් ඉහළින් සිටි මහ මොළකරු කවුදැයි හෙළිවූයේ 1829-02-24 දින උඩරට ආදායම් කොමසාරිස් ජෝර්ජ් ටර්නර් ඉදිරියේදී රජු පලායාමට පෙර ආරක්ෂාව සඳහා රාජ භාණ්ඩ සඟවා තැබිමේ කාර්යයට සම්බන්ධ වූ රාජ භාණ්ඩාගාරයේ කංකානම්ව සිටි වෙලගෙදර සට්ටඹිරාළ කළ ප්‍රකාශයෙනි. ඔහුගේ ප්‍රකාශය අනුව රජු අල්ලා ගැනීමෙන් සය වැනි දින ඔහු කැඳවූ උඩරට ප්‍රධානියෙක් රාජ භාණ්ඩ සඟවා ඇති තැන් තමාට දැනගන්නට ලැබි ඇතැයි ද එබැවින් ඒවා තමා වෙත ගෙන ඒමට උදව් විය යුතු යැයි ද දැන්වීය. ඒ අනුව තවත් කිහිප දෙනෙකුද කැටුව දුම්බර ‍පොද්දල්ගොඩ බලා ගිය හෙතෙම එහි කැලෑ කෝරාළගේ ද උදව්වෙන් හුළු අතු එළියෙන් රාත්‍රියේම ‍පොද්දල්ගොඩ ගුහාව සොයා ගියේය. එහිදී ඔවුනට මැණික් ඇසිරූ පෙට්ටි දෙකක්ද රනින් හා රිදියෙන් නිම කළ ඌර්ධවකාය ඇඳුමක් සහ රජුගේ රාජකීය රථයද එහි තිබෙනු දැකගත හැකි විය. ඔහුට ලැබි තිබූ උපදේශය වූයේ පෙට්ටගම් කඩා, රාජ භාණ්ඩ රහසිගතව ගෙන එන ලෙසටයි. එහෙත් ඔහු රිදී පෙට්ටි දෙක විවෘත නොකළේය. එහිදී හෙතෙම රෙදි ‍පොදි ලෙස මිටි බැඳ තිබූ මැණික් ඇසුරූ තවත් රිදී පෙට්ටි දෙකක්ද ප්‍රමාණයෙන් ඊට කුඩා තවත් පෙට්ටි පහක් ද හමුවූ අතර ඒවා විවෘත නොකර තිබූ ලෙසටම ගැට ගැසූහ. අඩියක් දිගැති රනින් කැටයම් දැමූ පුටු තුනක් සහ රන් රාමුවකින් යුත් වේවැල් කීපයක් හා එතරම් නොවටිනා තවත් භාණ්ඩ කීපයක්ද ඒ අතර විය.
පිරිස මේ භාණ්ඩ රැගෙන මහනුවරට එනවිට පසුදා දහවල වී තිබුණු අතර, මේ සියලු භාණ්ඩ පෙර කී ප්‍රධානියා වෙත ගෙන යන අඩුක්කු පෙට්ටි ලෙස පෙනෙන අයුරු රහසිගතව බැඳගෙන ගොස් ඔහු වෙත භාර දෙන ලදී. ඒවා නිවසේ ඇතුල් කාමරයක තැන්පත් කළ ප්‍රධානියා, වෙලගෙදර සට්ටඹිරාළද එදින එහි රඳවා ගත්තේය. එදින රාත්‍රියේ ඔහුද ඇතුල් කාමරයට කැඳවූ ප්‍රධානියා ඉටිපන්දම් එළියෙන් යටකී භාණ්ඩ ඇසුරූ  පෙට්ටි එකිනෙක විවෘත කර පරීක්ෂා කරන්නට වූ අතර හිටිහැටියේම රජුගේ රන් හිස් වැස්ම සහ ඌර්ධවකාය සැට්ටය හැඳ හැඩ බලන්නට විය. මෙයින් බියට පත් සට්ටඹිරාළ ඒ ක්‍රියාවේ අනිසි හා අකැප බව පෙන්වා දුන් විට එයට යට කී ප්‍රධානියා දුන් පිළිතුර වූයේ ...තව නොබෝ දිනකින්ම ඉංග්‍රීසීන් මාව රජු බවට පත් කළ බවට ආරංචිය නුඹටද දැනගත හැකි වනු ඇත... කියාය. පසුදින උදයේ සට්ටඹිරාළට රිදී හෙප්පුවක්ද, හුණු කිල්ලෝටයක් ද, ඇඳුම් දෙකක්ද තෑගි කළ මේ ප්‍රධානියා ඔහුට කොත්ම‍ලේ තම ගමට යාමට අවසර දුන්නේය...
රජු අල්ලා දීමේ උණුසුම යන්නටත් පෙර, ‍පොද්දල්ගොඩ ගල් ගුහාවේ තිබූ සිංහ‍ලේ රාජ භාණ්ඩ මේ අයුරින් තම වලව්වට ගෙන්වා ගත් මේ ප්‍රධානියා අන්කිසිවෙකු නොව රාජ්‍ය සේවයට පිවිසි     තැන් පටන් රාජ උන්මාදයෙන් පෙළෙමින් සිදුකළ අඛණ්ඩ කුමන්ත්‍රණය කූටප්‍රාප්ත කරවමින්, ඊට සත් දිනකට පෙර සිංහ‍ලේ රජු අල්ලා බැඳ කුදලා සිංහ‍ලේ රාජධානිය පරහස්ත ගතකිරීමේ මහා මෙහෙවර ඉටු කළ සිංහල ප්‍රභූවරයාය.  එසේය වර්තමානයේ කිසිවක් සිතාමතා නොබලාම, සත්‍යය'යි මිථ්‍යාවම සමාජගත කිරීමෙහි නියැළෙන මෙරට ඇතැම් මාධ්‍යකරුවන් විසින් දැන් දැන් ඉතිහාසයේ පහලවූ අසහාය දේශප්‍රේමියා ලෙස   උත්කර්ෂයට නැංවෙනු දැකිය හැකි ඇහැළේ‍පොළ මහ අදිකාරම්ය.
මේ කරුණ වැඩිදුරටත් තහවුරු කෙරුණේ, උඩරට කැරැල්‍ලේ සමාරම්භයේදීම මෙන් කාගේත් හිතසුව පිණිස බ්‍රවුන්රිග්  විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇහැළේ‍පොළ නිලමේ කොළඹට පිටත් කළ දිනට පසු දින, එනම් 1818-03-03 දිනය.
ඔහුගේ භාණ්ඩ කොළඹට යැවූ දිනය වූ අතර, එම භාණ්ඩ පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔහු හැඳ පැළඳ ඇති ස්වර්ණාභරණ වලින් වැඩි ප්‍රමාණයක් සිංහ‍ලේ සම්මත සිරිත් විරිත් අනුව රජුට පමණක්ම මිස අන් කිසිවකුටත් පැළඳීමට අවසරයක් නොවූ ඒවා බවය. එසේම එදිනම ස්ත්‍රී පළඳනා ‍පොදියක් සමග එක්තරා පුද්ගලයෙක් ගන්නෝරුව තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඇහැළේ‍පොළ වලව්වේ සේවකයකු බව සහ රික්ස් ඩොලර් 3500කට තක්සේරු කෙරුණු එකී ආභරණ රජුගේ බිසෝවරුන්ට අයත්ව තිබූ ඒවා බව අනාවරණය විය.
උඩරට ගිවිසුමේ තවත් වැදගත් වගන්තියක් ලෙස සැලකුණු 4 වන වගන්තිය මගින් ........... අදිකාරම්වරුන්ගේ සිට විදානේවරුන් දක්වා වූ සියලු නිලයන්ට අයත් උරුමයන් හා බලතල පෙර ලෙසම ආරක්ෂා කරදෙනු ඇතැයි....... ප්‍රතිඥා දුන් බ්‍රවුන්රිග් එකී වගන්තිය ආරක්ෂා කළ අයුරුද අපූරුය.

මතු සම්බන්ධයි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44317%3A-1818-&catid=61%3A2012-08-07-09-39-46&Itemid=77

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...