Friday, March 13, 2015

සිංහලේ රජකමට 1798 දී කන්නසාමි පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ය. ඔහු වඩිග හෙවත් නායක්කාර් රජෙකි. එහෙත් එයින් කියැවෙන්නේ ඔහු සිංහල රජකු නොවූ බව නො වේ.

හරියටම මීට වසර 200 කට පෙර අදවන් දිනෙක එනම්1815 මාර්තු මස 02 දා සිංහල බලලෝභී නායකයන් කිහිපදෙනෙකුගේ උවමනාව පරිදි එම මහා පාවාදීම සිදුකරන ලදී. ඇති කරගත් ඊනියා දේශද්‍රෝහි ගිවිසුමක් තුලින් අපව යටත් විජිත වහලුන් බවට පත්කොට අපට හිමි නිදහස අහිමි කළෝය. සැමදාම කුමක්දෝ අවාසනාවකට සිංහලයාට ද්‍රෝදී වන්නේ සිංහල නායකයන්මය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. කුමක්දෝ දෛවෝපගත සිද්දියකින් මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ අභාග්‍යය තීවුර ලෙස ඉතිහාසය තුල සනිටුහන් කළ වසරවල් විය. ඒ සියල්ල පිටුපස සිටියෝ බටහිරයන්ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින් බටහිරයන් ක්‍රියා කරන ආකාරය ගැන යම් දැනුමක් ලබාගෙන තිබිය යුතු ය.

සිංහලේ රජකමට 1798 දී කන්නසාමි පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ය. ඔහු වඩිග හෙවත් නායක්කාර් රජෙකි. එහෙත් එයින් කියැවෙන්නේ ඔහු සිංහල රජකු නොවූ බව නො වේ. සිංහලේ විවිධ වංශවල රජවරු රජකළහ. කෙසේ වෙතත් සිංහල බෞද්ධයාගේ අසහාය වීරයාවූ ගැමුණු මහරජුගෙන් පසුව කවුරුන් රජවුවත් සිංහලයේ සම්මතයක් විය. ඒ රජතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම රැකිය යුතු බව ය. ඒ අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය රැකීම රාජ්‍ය බලයෙන් උරුම කරගත් ඔවුහු සිංහල සිරිත් විරිත් අනුව දන්තධාතූන් වහන්සේගේද ආරක්‍ෂකයෝ වූහ. 1815 මාර්තු දෙවැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් ඉංගිරිසිහු ද සිංහල සිරිතට රට පාලනය කිරීමට එකඟ වූහ. ඔවුහු ද දළදා වහන්සේගේ ආරක්‍ෂකයන් බවට පත්වුහ. එහෙත් ඉංගිරිසින්ගේ නියම ස්වරූපය සනාථ කරමින් අසර 02 ක් සම්පූර්ණ වන්නටත් ප්‍රථම ගිවිසුම 1817 වන විට කැඩූහ. 1817 නිදහස් සටන එහි ප්‍රතිඵලයක් විය. එක්දහස් අටසිය හතළිස් ගණන්වල ඔවුහු දළදා වහන්සේගේ භාරකාරත්වයෙන් ද මිදුණහ. ඉන්පසු දියවඩන නිළමේට උන්වහන්සේගේ භාරකාරත්වය හිමි විය.
ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා 1798 දී ලංකාවට පැමිණියේ පෙරදිග වෙළෙඳ සමාගමේ ආණ්ඩුකාරයා ලෙස ය. නෝත්ට පෙර ලංකාවේ හමුදා ආණ්ඩුකාරවරු සිටියහ. මුහුදබඩ පෙදෙස් ඉංගිරිසි රජුට අයිතිවූයේ 1802 දී ය. නෝත් එතැන් සිට ඉංගිරිසි රජුගේ ආණ්ඩුකාරයා විය. එකල එංගලන්තයේ රජු වූයේ තුන්වැනි ජෝර්ජ් ය. 1803 දී නෝත් සිංහලේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා මහනුවරට හමුදාවක් යැවී ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උපක්‍රමික ව හඟුරන්කෙතට පළා ගොස් ආපසු පැමිණ ඉංගිරිසි හමුදාව වටකර පහර දුන්නේ ය. නෝත්ගේ හමුදාව හංවැල්ල දක්වා පසුබසින තෙක් ම පහර දුන්නේ ය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජනයාගේ ගෞරවයට පාත්‍ර විය. ඉතාමත් ජනප්‍රිය විය.

ශ්‍රි වික්‍රම රාජසිංහ රජු යුද්ධයෙන් පරාජය කිරීමට නොහැකි බව ඉංගිරිසිහු තේරුම් ගත්හ. ඔවුහු තමන්ට සුපුරුදු කපටි දේශපාලනයෙහි යෙදුණහ. කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඉංගිරිසි ඒජන්ත ලෙස කටයුතු කළේ ය. සිංහලයා බෞද්ධ භික්ෂූන්ටත් එම භික්ෂූන්ට පක්ෂපාතී නායකයන්ටත් දක්වන ගෞරවය ඔවුන් මනාකොට හදුනා ගත්තෝය. සිංහල නායකයන් සමග භික්‍ෂූන් වහන්සේ සමග සම්බන්ධකම් ඇතිකර ගත්තේ ය. ඩොයිලි හා අනෙක් ඉංගිරිසිහු භ්‍රී වික්‍රම රාජසිංහ රජුට මත්පැන් පුරුදු කළහ. ඔවුහු රජතුමා දුස්ශීලයකු බවට පත්කළහ. රජතුමා සිංහල සිරිතට පටහැණිව රට කරවන තැනකට පත්කරනු ලැබිණි.
ඒ අතර ඉංගිරිසිහු රජතුමා හා සිංහල නායකයන් බිඳවූහ. ඇතැම් නිළමෙලාට රජකම ඇතුලු විවිධ තනතුරු ලබා දෙන බවට පොරොන්දු වූහ. එහි අවසන් ප්‍රතිඵලය අපි කවුරුත් දනිමු. 1815 පෙබරවාරි 18 වැනි දා රජතුමා ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. අපේම සිංහල දේශද්‍රෝහී නායකයන්ගේ රජුට තිබූ වෛරයත්, බලයට තිබූ කෑදර කමත්, අපේ භික්ෂූන් වහන්සේලාද ඔවුන්ගේ කුමණ්ත්‍රනයට හසුව දුරදිග නොබලා කටයුතු කල නිසාත් කල පාවාදීම හරහා සිංහල ජාතියත් රටත් ආගමත් යන සියල්ලම ඔවුන්ට නතුවිය. ඉංගිරිසිහු යුද්ධයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ සිංහලේ රාජ්‍යය ගිවිසුමකින් භාර ගත්හ. එහෙත් 1815 මාර්තු දෙවැනිදා අත්සන් කළ ගිවිසුමෙන් ද සිංහල සිරිතට අනුව රට කරවන බවටත් (සිංහල) බුද්ධාගම සුරකින බවටත් එකල සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා තුන්වැනි ජෝර්ජ් රජු වෙනුවෙන් පොරොන්දු විය. ඉංගිරිසිහු වැඩිකල් නොගොස් ම ගිවිසුම කැඩූහ. රජකම ලැබූ සිංහලයෙක් නො වී ය. කුංකුණාවේ හාමුදුරුවෝ අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ යනුවෙන් කවි ලිවූහ.

ලංකාවට මුස්ලිම් ජනයා ස්ථිර පදිංචිකරුවන් ලෙස පැමිණ ඇත්තේ දහතුන්වැනි සියවසේ පමණ ය. එයට කලින් අරාබි (යෝනක) වෙළෙන්දන් පැමිණියත් ඔවුන් ස්ථිරව පදිංචි වූ බවට සාක්‍ෂි නැත. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි මේ මුස්ලිම් ජනයා දෙමළ කතාකළහ. මුස්ලිම් ජනයා වැඩි දෙනකු දෙමළ කතාකරන්නේ එබැවිනි. අරාබියෙන් පැමිණි වෙළෙන්දන් සිංහල ස්ත්‍රීන් සමග විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට මුස්ලිම් ජනයා ඇතිවිණි යැයි කීිම අරාබි නිසොල්ලාසයට ම අයත් වූවකි. ඒ එසේ නම් මෙරට මුස්ලිම් ජනයාගේ භාෂාව සිංහල විය යතු ය. වැඩිම වුවහොත් අරාබි විය යුතු ය. එහෙත් ඔවුන් ඉතා මෑතක් වන තුරුම කතා කළේ දෙමළ ය. අදත් බොහෝ දෙනා කතා කරන්නේ දෙමළ ය.
මුස්ලිම් ජනයා ලංකාවට පැමිණියේ ඇයි දැයි නො දනිමු. එදා වත්මන් දකුණු ඉන්දියාවේ ඔවුන්ට හිරිහැර ඇති වූ නිසා ලංකාවට පැමිණියේ යැයි සිතිය හැකි ය. සිංහලයෝ මුස්ලිම් ජනයා පිළිගත්හ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය යි. පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන්ට කරදර වන විට ඔවුන් කන්ද උඩරට හා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමට සිංහල රජවරු පියවර ගත්හ. සිංලයන් අතර මුස්ලිම් ජනයාට කරදරයක් නො වී ය. මුස්ලිම්හු මූලික වශයෙන් වෙළෙන්දෝ වූහ.
ඉංගිරිසි පාලන සමයෙහි දී දකුණෙන් සිංහලයෝ වෙළෙඳාම පිණිස සිංහලේ, එනම් ශ්‍රී වික්‍රම රාජසිංහගේ පැරණි රාජ්‍යයට, ගියහ. මුස්ලිම් වෙළෙන්දන් එය නුරුස්සුවාට සැකයක් නැත. ගම්පොළ ප්‍රදේශයෙහි සිංහල බෞද්ධයන් පෙරහැරක් පැවැත්වීම ගැන සිංහල මුස්ලිම් භේදයක් ඇති විය. ඉංගිරිසිහු සිංහලයන්ට එරෙහිව දෙමළ ප්‍රභූන් යොදා ගත් ආකාරයට ම මුස්ලිම් ජනයා ද යොදාගත්හ. එහි ප්‍රතිඵලය වූයේ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය නමින් හඳුන්වනු ලැබූ ගැටුම් ය.
ඉංගිරිසිහු සිංහල නායකයන් සිරභාරයට ගැනීමට ඒ අවසාථාවක් බවට පත්කර ගත්හ. සිංහල ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට ගැනුණු අතර මාෂල් හෙවත් යුද්ධ නීතිය යටතේ රට පාලනය කෙරිණි. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915 ජූලි මස හත්වැනි දා ඉංගිරිසින් විසින් ඝාතනය කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

වත්මන් උතුරු පළාත් දෙමළ ජනයා මූලික වභයෙන් ලංකාවට ලන්දෙසීන් විසින් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් පැවත එන්නෝ වෙති. ඉංගිරිසිහු ඔවුන්ට වරප්‍රසාද දී වෙල්ලාල නායකයන් සිංහල ජාතිකත්වයට එරෙහිව යොදාගත්හ. අද පවත්නා දෙමළ ජාතිවාදයේ මූලාරම්භය 1833 දී ව්‍යවස්ථා සභාව පිහිටුවීමත් සමග ඇති විය. ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොත කියවීමෙන් දෙමළ ජාතිවාදයේ විකාශය දැනගත හැකි ය.
දෙමළ ජාතිවාදය කල් යෑමේ දී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව හැත්තෑවේ දී පමණ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත්විය. ඉංගිරිසිහු මේ සියල්ල පිටුපස සිටියහ. ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් දෙමළ ත්‍රස්තවාදයට දුන් මූල්‍යාධාර ගැන කේ පී හෙවත් කුමරන් පද්මනාදන් දන්නා බවට සැකයක් නැත. ඔහු ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි. කෙසේ වෙතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් අපේ රණවිරුවන්ට හැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා එහි දී ඉංගිරිසින්ට හා අනෙක් බටහිරයන්ට ද ඉන්දියාවට ද අවැසි පරිදි දනින් වැටී ක්‍රියා නොකලේය. ඔවුන්ට අවනත නොවී රටේ ස්වෛරිභාවය හා ඒකීයභාවය රැක ගත්තේ ය. ඒ සඳහා ඔහුට ජන්මයෙන්ම ලද අසහාය පෞර්ෂය මනාකොට පිටිවහලක්වූ බව නොරහසකි. එය මුලු මහත් රට වැසියාම පසුගිය කාලය පුරාවටම දු‍ටු දෙයක්ය.
බටහිරයෝ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට කටයුතු කළහ. එහි දී ඉන්දියාවේ සහාය ද ඔවුන්ට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා දූෂණ භීෂණ චෝදනා ගෙන ආහ. දැනුත් ගෙනෙති. එහි දී සයිබර් අවකාශය ද යොදා ගැනිණි. රෝ ඔත්තු සේවයට ඊනියා ජාතික ව්‍යාපාරයේ ව්‍යාජ නායකයන් හසුරුවා ගැනීමට හැකි විය. නුතන ඩොයිලිලා තොග පිටින් ලංකාවේ ක්‍රියාත්මක වූහ. ඇතැමුනට ජනාධිපතිකම පොරෙන්දු වූහ. ඔවුහු ඔවුහු සියල්ලෝම එකතු වී දෙමළ හා මුස්ලිම් ඡන්ද ද යොදා ගනිමින් 2015 ජනවාරි අටවැනි දා ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කළහ.
නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේද මහින්ද රාජපක්‍ෂ මහතාටමය එසඳහා අවැසි හැකියාව පිලිබඳ සැකයක්ද නැත. එහෙයින් සියලු බලමුලු ඒකරාශී කොට ගනිමින් එම කාර්යට ඔහු නායකත්වය දිය යුතුය. දෛවය විසින් ඔහුට පවරා ඇති වගකීම ඔහු ඉ‍ටුකළ යුතුමය. කෙතරම් බාධක දුක් ගැහැට පැමිණියද ඔහුටද ඉන් මිදී සිටිය නොහැක.
~ නලින් ද සිල්වා මහතා තැබූ සටහනක සංස්කරණයකි.

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...